Monday, July 9, 2018

මා විසින් පැහැර හැරීම

ඔබට මිතුරන් දහයක්, එක්‌ සතුරෙක් සිටියහොත් හිතේ වැඩිමනක් හොල්මන් කරනුයේ අර සතුරාය.

ඔබ හොඳ වැඩ දහයක් සිදු කර, එක් අවැඩක් කලොත් හිතට වැඩිමනක් එන්නේ අර එකම එක නරක කාරණාවය.

එබැවින්, පුණ්‍ය කටයුතු වේවා වැඩි ප්‍රමාණයකට දායක වී එක් අවස්ථාවක වුව එයින් යම් සිත්තැවුලක් සිදුවුවහොත් එය හිතට වද දෙනවා නොඅනුමානය.

මේ එබන්දකි,

ආගමට දහමට අපහාසයක් සිදු කිරීම මාගේ බලාපොරොත්තුවක් නොවන අතර, හුදෙක් එක් සිදුවීමක් පමණක්ද, සඳහන් කරන්නාවූ සිදුවීම් හා එබඳු පුද්ගලයින් ඉතාම අල්ප බවත් ආරම්භයේදීම සඳහන් කරනු කැමැත්තෙමි.

මා විදේශ ගතව රැකියාව කරන්නකු යනවග සමුහයේ බොහෝ දෙනෙකු දැනටම දන්නා කාරණයක් වන්නේ, විටින් විට මාගේ සටහන් තුලින් මා ඒ පිළිබඳව දක්වා සිටි බැවිනි. ඒ නැතා මේ සටහන කියවන්නකු ඒ පිළිබඳව මේ මොහොතේ සිට දැනුවත්ය.

විදෙස් ගතව වසර දහයකට ආසන්න කාලයක් ගතවුවද අදටත් මා කුඩා ඉඩමක පමණක් හිමිකරුවෙකි. මාගේ මෙන්ම බිරිඳගේද දෙමාපියන්ගේ වියපැහැදම් මාසිකව ලබාදෙන මා ලංකාවට පැමිණි විට නවතින්නේ ඔවුන් සමග වූ කුලී නිවසකය (දෙපාර්ශවයටම තමන්ගේය යන නිවසක් නොමැති බැවින්).

මාගේ මවු පිය පාර්ශවයන් දීර්ග කාලීනව මෙන්ම දැනටද පදිංචිය "රාගම" ප්‍රදේශයේ වන අතර, කෝට්ටේ මාදිවෙල මුල් පදිංචි කරුවන් වූ බිරිඳගේ දෙමාපියන් වත්මන වනවිට පදිංචිය "කොහිලවත්ත" ප්‍රදේශයේය.

අදාල ප්‍රදේශය ඔවුන් තෝරා ගනු ලැබුයේ, බිරිඳගේ නැගණිය විවාහපත්ව ඒ අවට සිටින බැවින් එය මාපිය දෙපලට ආරක්ෂාවක්, සහනයක් වන නිසාවෙනි.

නිවසටම ආසන්නයේ වූ පන්සලෙහි නම මා මතකයේ නොමැති අතර මතකයේ තිබුනද සඳහන් නොකරමි, නමුත් ප්‍රදේශය දන්නා උදවිය පන්සල හඳුනා ගනු ඇත.

අධික ලැදියාවක් ධර්මය කෙරෙහි ඇති මාගේ නැන්දනිය (බිරිඳගේ මවු) පිලිබඳ වර්ණනාවක් මෙහි නොකරමි, ඇය පුණ්‍ය කටයුතු වෙනුවෙන් මෙම පන්සල තෝරාගැනීම වත්මන වන විට මා මෙන්ම බිරිඳද අසතුට ප්‍රකාශ කොට ඇති මුත්. නිවාස ආසන්නයේ පිහිටීම එය තෝරා ගැනීමට එකම හේතුව වන්නට ඇත.

මාගේ බිරිඳ වසර තුනකට පෙර ගැබිනියක් බවට පත්වුයේ ඕමානයේදී වූ අතර ප්‍රසුතය සඳහා ලංකාවට පැමිණීම මුල සිට සැලසුම් කලේ ඇයගේ අභිමතයට ඉඩදෙනුවස්ය.

ප්‍රසුතියට දින වකවානු ආසන්නවත්ම කාත් කවුරුත් දන්නා පරිදි, "අංගුලිමාල පිරිත" ඇයට ශ්‍රවනය කරවනු වස්, ආරාධනා ලැබුයේ පෙර සඳහන්කළ පන්සලෙහි නායක ස්වාමීන්වහන්සේය.

මේ සඳහා සම්බන්ධ වූ නායක ස්වාමීන්වහන්සේ ඔය අතර තුරේ "අපේ විත්ති" විමසා දැනුවත් වුයෙන්, මා සඳහන් කිරීමට යත්න දරන්නාවූ කාරණය මතුවිය.

"උපාසක අම්ම මහත්තය විදෙස් ගතවෙලා හොඳ රස්සාවකුත් කරන එකේ, අපිට සුළු දායකත්වයක් දෙමුකෝ, අපි පන්සලේ ........ (මතකයේ නැත) කුටි ඉදි කරන්න පටන් අරන් තියෙනවා, එයින් එකක් භාර ගමුකො, මේවා මේ ආත්ම ගණනාවක් යහමින් දේපල ලබන්න කරුණු කාරණා යෙදෙන පුණ්‍ය කර්ම. වැඩි මුදලක් නෙවෙයි එක කුටියක සම්පුර්ණ වියදම ලස්ස පහයි. ඔබ තුමිල මුදලින් දායක උනාම අපි වැඩ කටයුතු කරලා ඔයෑයිල කැමති නමකින් එක නම් කරනව, පුර්ණ අනුග්‍රහය මෙහෙමයි කියල".

අසරණ වූ බිරිඳගේ මුවින් දිගින් දිගටම පිටවුයේ "මහත්තයගෙන් අහල කියන්නම්, හාමුදුරුවනේ" යන වදන් පමණි.

ස්වාමින්වහන්සේගේ උනන්දුව උත්සාහය නතර නොවුණු අතර පන්සලේහිදී නැන්දනිය හමුවුවහොත් "උපාසක අම්ම අර මන් කියපු කාරණාව සලකල බැලුවද". ප්‍රතිපලය ලෙස නැන්දනියගේ පන්සල් ගමන් සීමිත විය.

මේ අතර 2017 වසරේ අපගේ ලංකාගමනය ( වාර්ෂික නිවාඩුව) යෙදී තිබුනේ සැප්තැම්බර් මසය, එවකට අපගේ දියණිය වසර එකහමාරක සිඟිත්තියක් වූ අතර, නිවාඩු මාසය ගෙවන ආකාරය සඳහා සැලැස්මක් බිරිඳ සතු විය.

මාගේ පියාණන් මහලු වයසෙහි පසු වන හෙයින් සිහිකල්පනාවේ අඩු පාඩු තිබේ, මෙය සලකා බලා මවුපිය සතර දෙනට ආශීර්වාද කොට සෙත් පැතීමේ කටයුත්තක් අප සැලසුමෙහි විය.

අපගේ නවාතැන වුයේ බිරිඳගේ මවුපිය පාර්ශවය විසු නිවාස වුයෙන් කරුණු කාරණා සැලසුම් කලේ එහිදීය. ඒ සඳහා නැන්දනිය ආරාධනා කලේ පෙරකී නායක ස්වාමීන් වහන්සේට වූ අතර උක්ත කී කාරණාවට වසර දෙකකට අසන්න බැවින් නායක හිමියන් ඒ අදහස අතැර සිටින්නට ඇතැයි නැන්දනිය සිතන්නට ඇත.

මෙවර ස්වාමීන් වහන්සේගේ ඍජු අවධානය මා වෙතය, සෙත් පිරිත් අවසන්ව ගිලන්පස (තේ) වලඳමින් සිටි උන්වහන්සේ "මහත්තය පොඩ්ඩකට ආවනම්" එසේ ආරම්භ කළහ. මා උන්වහන්සේ එකත්පස්ව දණහිස් බිම තබා ඒ මත හිඳගතිමි.

"මන් කලින් නෝනා මහත්තයටයි, ලොකු උපාසක අම්මටයි මේ ගැන කීව. අපි මෙහෙම වැඩක් කරනව, ........ (පෙර වූ සංවාදය නැවත මුල සිට)

උන්වහන්සේට නිවීහැනේ වදාරන්නට ඉඩ හැරි මා, "අපේ හාමුදුරුවනේ, ඉන්නේ රට, කරන්නේනම් හොඳ රස්සාවක් තමයි, එත් ඔබ වහන්සේට පේනවනේ අපි ඉන්නේ කුලී ගෙදරක." (අපේ ආරාධනයෙන් නිවෙස් හිමිකරුවන්ද මේ සඳහා සහබාගී වී සිටිඅතර, තම පන්සල මග හැර වෙනත් පන්සලකට සම්බන්ධව ඇතැයි නිවෙස් හිමියන්, නායක හිමියන්ගේ උදහසට ලක්විය). "මාගේ අම්ම තාත්තත් ඉන්නේ කුලියට හාමුදුරුවනේ, තාත්ත ඉන්නෙත් අසනීප මට්ටමේ, ඉතින් අපිට විය පැහැදම් ටිකක් වැඩියි, අනික ඒ රටේදී හම්බ කරන සල්ලි වලින් වැඩි කොටසක් ඒ රට වලටම වියදම් වෙනවා" (කුලී නිවාස, ප්‍රවාහන, මාසයක් පුරා කෑම බීම වියදම්, දියණියගේ වියදම්).

නායක හිමියන් අදහස අත් නොහරින ස්වභාවයකි, පෙර කියා තිබු මතු ආත්මවල ලැබෙන්නාවූ වරප්‍රසාධ නැවත මෙනෙහි කල උන්වහන්සේ "හොඳයි අපි මේ ගැන පස්සේ කතා කරමුකෝ". පවසා පන්සට වැඩම කළහ.

පසුදින හීල් දානය අප නිවසෙනි,

වෙලාවට හෝ වෙලාවට කලින් යමක් ආරම්භ කිරීම බිරිඳගේ පාර්ශවයේ පුරුද්දක් වූ අතර (මට මුල් යුගයේ වදයක් වූ මෙහි ප්‍රතිපල ඉහල බැවින් මාද දැන් එය අනුගමනය කරමි). දානයමය කටයුතු කලට වෙලාවට අවසන් විය.

ගමේ පන්සලේ අපට හුරු පුරුදු "පින් අනුමෝදන් කරවීම්" කටයුතු වෙනුවෙන් කුඩා උන්නාන්සේ කෙනෙකුදු සහබාගී නොවීම සුදුවූ අතර, අප බුදුන් වැඳ නිවසට ඒමට පිටත් වුවා පමණි,

දිවැසින් අප දුටු නායක ස්වාමීන් වහන්සේ (පැයක් හමාරක් අප උන්වහන්සේ නොදුටහ) මාහට මෙන්ම නැන්දනියහටද ආවාසගෙය අසලට හඬගා, සුපුරුදු සංවාදය ආරම්භ කළහ.

අප්‍රසන්නම දසුනක් වුයේ ඒ හිමිදිරියේ උන්වහන්සේගේ කිහිල්ලෙහි පොතක් වීම නොව එය උපාසක ඇත්තන් ණයකරුවන් බවට පත්කොටගෙන ඇති "ආධාර පත්‍රයක්" වීමය.

"මහත්තයෝ අර කුටියක් භාර ගන්න එක ඔබතුමා ප්‍රතික්ෂේප කලානෙව, අපි මෙහෙම කරමු. අපේ බුදුගේ අලුත් වැඩියා කරනව. ඒකෙත් බොහොමයක් දේ එක එක්කෙනා භාර අරන් තියෙනවා (අනිවාර්යෙන් භාරදීම් වන්නට ඇත), ප්‍රධාන දොර මෙච්චර ගානක් වෙනවා එකත් අහවල් මහත්තය භාරගත්ත. වහලේ ලී වලට ආධාරයක් කරන්න බලන්නකෝ".

එහිදී උන්වහන්සේ සඳහන් කල ගණන් මිමි මාගේ මතකයේ නැත. ඒ මාගේ අවධානය ඒ කෙරේ නොවීමය.

"මං වයිෆ් එක්ක කතා කරලා කෙරෙන විදියක් අම්ම (නැන්දනිය) හරහා දැනුවත් කරන්නම් හාමුදුරුවනේ". අනුමත කිරීම, එකහෙලා ප්‍රතික්ෂේප කිරීම නුසුදුසු යයි හැගුනු බැවින් මා එහෙ කියා සිටියෙමි.

අතේ මුදල් යහමින් ගැවසේනම්, උදවු කලයුතු විහාරාරාම ගණනාවක් ත්‍රිකුණාමලය, අම්පාර වැනි දුෂ්කර ප්‍රදේශවල පවතියි. එය මාගේ අනාගත බලාපොරොත්තුවලින් එකකි. ජීවිතයේ අනීත්‍යය අපට මෙනෙහි කිරීමට හිඳිනා බුද්ධ පුත්‍රයින් වහන්සේලාගේ නායකකම්, මහානායකකම්, පොදි බැඳ ගැනීම් ආදියට ඇති ආශාව/තෘෂ්ණාව පිළිබඳව ඇත්තේ දුකකි/පිළිකුලකි.

නැන්දනිය අදාල විහාරස්ථානය අත්හැරී අතර, හැකි අයුරින් සිය වතාවත් සඳහා "කැලණිය රජමහ විහාරයට" යාම් ඊම් සිදු කරයි.

ඉහතින් සඳහන් කල සිත්තැවුල (මා විසින් පැහැර හැරීමක් සේ දැකීම) අදද සමනය වී නොමැති අතර, අදහස් බෙදා ගැනීමෙන් යම් සහනයක්ද ලැබෙනු ඇතැයි මා විශ්වාසයයි.





චායාරූපය අන්තර්ජාලය ඇසුරෙනි...

කබරයා




මාගේ වයස අවුරුදු 11 දී පමණ සිදුවූ පෙරළියත් සමග, අපහට පදිංචි වීමට සිදුවූ නිවස ඉතා කුඩා (අන්සතු) එකක් විය, එහි එක් කමරයකුදු නොවීය, වැඩිවිය පැමිණීමට නියමිත දියණි වරුන් (මාහට වැඩිමහලු සහෝදරියන් පමණක් සිවු දෙනෙකි) සිටි බැවින් පසු කලෙකදී මවුගේ සහෝදරයින් ඔවුන්ගේ ශ්‍රමයෙන් එක් කාමරයක් නිවසට සම්බන්ධ කර ඉදිකලෙන්, මව හා සහෝදරියන්ගේ නිදන කාමරය බවට එය පත්විය. මාද පියානන්ද සාලයේ හෝ ඉස්තෝප්පුවේ නිදාගැනීම කල අතර, සඳහන් කරන වකවානුවේදී පියා නිවසට පැමිණියේ දින 2-3ක් ඇවෑමෙනි.

සහෝදරියන්ගේ ආරක්ෂාවට, ඔවුන් යන ගමන් වල ගෙනගොස් ඇරලීම්, රැගෙනඒම් ආදියෙන් ආරම්භ වූ මගේ කර්තව්‍යයයන් යුතුකමක්, වගකීමක් මට්ටමින් භාර ගැනීමට මා නොපැකිලුනෙමි (ඒ පිලිබඳ ඔවුන්ගේ ආදර ගවුරවය අදද මට හිමිය). රාත්‍රී නින්දේදී වහා අවදි වීම, සැක සහිත යමක්නම් මහාරැජාමේ එලි බැස බැලීම ආදියට අම්මා පුරුදු වුයේත් කෙල්ලන්ගේ ආරක්ෂාව සලකාය. මේ සම්බන්ධයෙන් මවුතුමිය අපෙන් හොඳහැටි බැනුම්ද අසා ඇත.

විදුලි බලය නොතිබුණු නිවසේ භූමිතෙල් මගින් දැල්වූ චිමිනි ලාම්පු දෙකක් හා කුප්පි ලාම්පු දෙකක් විය. එක් චිමිනි ලාම්පුවක් එලිය අඩු කොට නිවස තුල රැය පහන් කල අතර, හදිසි අවස්ථාවක් සඳහා කුප්පි ලාම්පුවක් හා විසිකැත්ත (වත්තේ පිටියේ වැඩ සඳහා භාවිතාකළ) අම්මා ළඟ තබාගැනිණි. වත්ත බලාගැනීම සඳහා වූ "මුර කුටියක්" ලෙස ඉදිවූ නිවස පිහිටියේ අක්කර භාගයක් වූ භුමියකය.

කෙමෙන් කෙමෙන් අප ගම් ප්‍රදේශයට හුරුවූ අතර හිතවතුන් හා මිත්‍රයන්ගේද අඩුවක් නොවීය. ගමේ කා අතරත් අප ප්‍රසිද්ධ වුයේ "කෙල්ලෝ හතරදෙනාගේ ගෙදර" ලෙසය. කෙල්ලන් සමග සිටි මාද කෙල්ලෙක් තරමට ගම්මු දුටුවේය. මාද ඔවුන්ට එසේ දකින්නට ඉඩ හැරියේය ("හොඳ" ඇසීමේ ආසාවක් එවකට මාහට තිබිණ). "කෙල්ල වගේ", "කළු උනාට හරිම සීදේවි කොල්ල", "උදේට දැක්කම දවසම සුභයි", ගමේ cctv ක්‍රියාත්මක උනේ එලෙසයි.

මා ගැන අදටත් දන්නේ ගමේ පාසලේ සමවයසේ උනුත් (අදද ඒ යහළුකම ඒ ආකාරයෙන්ම පවතියි), මරදාන ටෙක්නිකල් කොලීජියේ සමවයසේ උනුත් (බොහොමයක් අද මා සමග ඕමානයේ සිටියි), රැකියාව කල ස්ථාන වල උනුත් පමණි.

වැඩක් තිබුනද නැතිවද අප සියල්ලෝ නින්දට යන්නේ රාත්‍රී 11-12 අතරය. උදැසන 5ට පමණ මා අවදිවන නිසා ඒ අතරතුර අවදිවීම සිදු නොවූ තරම්ය, යම්හෙයකින් අවදි වුවහොත් යලි නිදා ගැනීම සුළුපටු කාරියක් නොවීය. කොටින්ම නින්ද කැඩුනොත් යලි මාගේ අහලට නොපැමිණීමට තරම් නිදිදෙවුදු ආඩම්බර කාරියක් විය.

සුළු ශබ්දයකින් පවා අවදිව කුප්පි ලාම්පුව හා විසිකැත්ත අතැතිව එලියට යන මව, මා අවදි නොවන පරිදි හැසිරෙන්නට වුයේ මා අවදි වුවහොත් ගැටුමක් අනිවාර්යය බැවිනි. එහෙවු සමහර දිනයන්හි අම්මා එළිබැසි වග මා දැනගන්නේ පසුදින අක්කලාගේ ගෝරනාඩු වලිනි. "ඔයාට පිස්සුද අනේ, රැ තිස්සේ එලි බහින්නේ ..." ආදී සංවාද වලින් පටන්ගෙන "මෙයාට නම් බෝම්බ ගැහුවත් ඇහැරෙන්නේ නෑ" ලෙස මාගේ පිටින් යන අවස්ථාද තිබුණි. "අම්මව එලියට නොයා උඹ පලයන්, උඹ කොල්ලෙක්නේ" අක්කලාගේ සිතුවිලි එසේ වන්නට ඇත.

සහෝදරියන් හැරුණු කොට ආරක්ෂා කිරීමට ගෙවත්තේ රන්,රුවන් නොතිබි අතර ගෙඩියක් අඩුවුවද වත්තේ හිමිකරුගෙන් ඇනුම්පද ඇසීමට සුදුවූ "පොල් ගස්" දහයක් පහලවක් විය. වරක් මා මාගේ මිතුරන් එක්ව හොරෙන් කැඩූ කුරුම්බා ගෙඩි කිහිපය හැරුණු කොට නොකා හිටියද වත්තේ පොල් ගෙඩියකට අත නොතැබීමට මාගේ මව පියවරගෙන සිටියාය.

වයස 11 සිට ලඟින් ආශ්‍රය කල ගමේ මිතුරන් තුන්දෙනෙකු විය. ඉන් එකෙකු කුඩා කල සිට "හොරෙකු" ලෙස හංවඩු ගැසී සිටිඅතර, ගුටිකා පදම්ව සිටිනිසා අපහට ඌ "කබරයා" විය. ඔහු ආශ්‍රයට ගෙදරින් මෙන්ම ගමේ වැඩිහිටි බවලතුන්ගේද නොකැමැත්ත විටින් විට ප්‍රකාශවිය. "ඕක ආශ්‍රය කරලා ඔයාලත් උගේ ගානට වැටෙන්න එපා පුතේ" කීවිට අහිංසකව සිනාසී හිස බිමට හරවා ගත්විට ඔවුන් කී දේ මා පිලිපදිනු ඇතැයි ඔවුන් සිතන්නටද, මන් "හොඳ කොල්ලෙකු" ලෙස ලකුණුද ලබාදෙන්නට ඇත.

පාසල් නිවාඩු මාසයම වත්ත පිටිය වැඩට ගෙවීගියේ, මා කුඩා එකකු නිසා අක්කර භාගයක් පිරිසිදු කර එහි වගාවන්ද තනිව (අම්ම හැකි අයුරින් දායකවිය) කිරීමට වූ අපහසුවය.

සාමාන්‍යය පෙළ වනතෙක් අමතර පන්ති සඳහා සහභාගී නොවුයේ මුදල් මෙන්ම කාලයද හිඟ වූ නිසාය. මිට අමතරව දරමඩුවක අත් උදවුදී පාසලේ වියදම් මෙන්ම මවටද යම් මුදලක් දෙන්නට ලැබීම අදද මට ගෙන එන්නේ අභිමානයකි.

කරුණු කාරණා මෙසේ තිබියදී ලද සෑම අවස්ථාවකම "ක්‍රිකට්" සෙල්ලම් කිරීමට අප සිවුදෙන එක්වුයේ ගමේ පොඩිඋන් මෙන්ම පිටගම් වලින් ගෙන්වාගත්වුන්ද සමගිනි. සෙල්ලමට දායක වීමේදී, මාගේ ප්‍රමාදය වත්ත පිටියේ වැඩ නිසානම්, "ශරීර හොරුන්" වූ අනිකුන් බලාසිටියදී යකකු මෙන් වැඩට බැසීමට "කබරයා" ඉදිරිපත් විය.

ඒ සඳහා මගේ මවුතුමියගේ විරොදයක් නොවුයේ ඈ තුල මා පිළිබඳව වූ අනුකම්පාව නිසා වන්නට ඇත. සම වයසේ අනෙක් දරුවන්ට හිමි නිදහස මා විසින්ම නිවසට කොටු කිරීම පිළිබඳව ඇය විස්සෝප වන්නට ඇත.

වැඩට උදවු කල කබරයා හට මවුතුමියගේ කුලුණුබර වදන් මෙන්ම රසවත් "ප්ලේන්ටියක්" ද හිමිවිය. ඒ ප්ලේන්ටිය "අරිෂ්ඨය" ලෙස නම් කලේ සෙල්ලම් කර හෙම්බත් වූ උන්ට නව පණක් එතුලින් හිමිවූ නිසාය.

කබරයාගේ උදවු මා ප්‍රිය නොකළේ "කොලිටිය" පහල මට්ටමක පැවතීම හා කයිවාරුව නිසාවෙනි. නමුත් ඒකාට එහි වගේ වගක් නොවීය. සම වයසේ එකකු ඌ කබරයා මාහට ඇමතුවේ "උපුල් අයිය" ලෙසය. ඒ ඌ මට ගවුරවය දැක්වූ ආකාරයයි. කෙතරම් උදවු කලද ඌ උදවු කල දින රාත්‍රියේ ඒ පිලිබඳ වර්ණනාකොට "මිනිහව අතේදුරින් ආශ්‍රය කරහන්" යැයි මව පැවසීම මට නොරිස්සුම් විය.

ප්‍රදේශයේම නම ගිය හොරකු වුවද අද දක්වා මාගේ නම ගෑවුණු තැනක යමකට අතනොතැබීමට කබරයා වගබලා ගැනීම පුදුමයට කාරණාවකි. මිත්‍රත්වයට වසර 20ක් ඉක්මවුවද මාගේ පවුලේ සාමාජිකයෙකු හමුවුවිට "අක්කේ උපුල් අයිය අවදා?, දැන් කොහොමද?" ආදිලෙස වගතුග අසන්නට හේ හිතවත්ය. එවන් විටෙක, "මල්ලි හම්බුනොත් කතා කරලා යනවා හලෝ, ඌ අපිට වරදක් කරලා නැනේ" මාගේ සහෝදරියන් මට උපදෙස් දෙයි.

ගමේ පාසැල මා යන වකවානුව වනවිට ක්‍රීඩාව අතින් ඉහල ස්ථානයක තිබුණි, හැකියාව අනුව කල හැකි සෑම ක්‍රීඩාවකටම යොමුවූ මා කෙටිදුර ධාවනයේ සමතෙකු විය. ගමේ පාසලෙන් ඉවත්වී උසස් පෙළ සඳහා ගම්පහ උසස් පිරිමි විදුහලකට ඇතුල්වූ පසු ක්‍රීඩාව සම්පුර්ණයෙන්ම නතර වුවද උදැසන අවදිව පැයක් පමණ ශාරීරික අභ්‍යාස කිරීම මාගේ දින චර්යාවේ අනිවාර්යය අංගයක් විය. මීට අමතරව ආත්මාරක්ෂක සටන් කලා දෙකක් (කෙටි කාලීනව) හදාරමින් සිටි අවදියක් විය.

නිවස ඉදිරිපිට හරි හතරැස් පර්චස් විස්සක ඉඩමක් විය. ශුෂ්ක කාල වලදීද වතුර නොහිඳෙන ලිඳක් එහි විය. අදාල වත්ත බලාගැනීම, ලිඳ පාවිච්චිය එහි හිමිකරුවන් මට පැවරුවේ, ප්‍රධාන හිමිකරු විදෙස්ගතව සිටිනිසාත්. ඔවුන්ගේ නිවස මෙහි සිට යම් තරමක් දුරින් පිහිටි නිසාත්ය. "පුළුවන් කාලෙක මන් මේක ගන්නවා" හිතා හිටියද වත්මන වන විට එහි හිමිකාරත්වය මුස්ලිම් ජාතිකයකු සතුව ඇත.

ඉහත කාරිය (වත්ත පිටිය බලාගැනීම) වෙනුවෙන් ඉඩම් හිමිකරු වසර දෙකකට වරක් විදේශයෙන් රැගෙනා "ටීෂර්ට්" මා හට ප්‍රධානය කිරීමටද, ප්‍රති උපකාර ලෙස ඔවුන්ගේ අගනා පොල්ගසකින් ඉඳහිට කුරුම්බා කඩා සාක්කියක්වත් එහි නොතැබීමට මාගේ මුලිකත්වයෙන් අපි හතරදෙනද කටයුතු කළහ.

කාලයාගේ අවෑමෙන් "විස්සේ කෑල්ලේ" හිමිකරු විදෙස් රැකියාව අහිමිව විත් ලෑලි වලින් නිවසක් තනා එහි පදිංච වුයේ අලුත බැඳී බිරිඳද සමගය. කාටත් එකසේ හිතවත් වූ මා නිවස ඉදිරිපිට විසූ මෙම යුවලත්, ගමකෙලවර සිටි පවුලත් එකම ලෙන්ගතුකමකින් ආශ්‍රය කල අතර, විශේෂ හිතවත් කමක් (නිවෙස් වලට යන එන) නොවීය.

අපගේ ක්‍රිකට් ක්‍රීඩාව අසල් වැසියන්ට බාදාවක් විය. අපට කරුණු කාරණා කියාදී පලක් නොවූ කල අප නිවැසියන් හටද ඇසෙන ලෙස ඉල්ලීම් කරන්නට විස්සේ කෑල්ලේ අයියා පියවර ගති.

ඔහු තම දැනුම පමණින් දියුණුවීමේ අටියෙන් "වෑල්ඩින්" කටයුතු සඳහා රැස්කළ උපකරණ නිවස තුල මෙන්ම නිවස ඉදිරිපසද තැබුයේ ඉඩකඩ මදිපාඩුව නිසාය.

එක්තරා දිනෙක, වෙලාව රාත්‍රී දෙක දෙකහමාර තරම් වූ මොහොතක මා අවදි වුයේ අවට බල්ලන්ගේ කන්දොස්කිරියාව මෙන්ම, දොර හැරගෙන අම්මා ලාම්පු කුප්පියද විසිකැත්තද අතැතිව මුමුනමින් ඉන්නා දසුනද සමගිනි. මෙවන් අවදිවීම් වලදී පපුව වේගයෙන් ගැසෙන ස්වභාවයක්ද මාහට පවතී.

මා සමග මාගේ යකාද අවදිවිය, අම්මාහට මැසිවිලි නගමින් විසිකැත්තද උදුරාගත් මා කරුවලේම එලි බැස්සේ කවුරුන් මා ඉදිරියට ආවද මාගේ නින්ද කැඩූ වාඩුව උගෙන් ගන්නා අටියෙනි.

විස්සේ කෑල්ලේ අයියා ඔහුගේ නිවස ඉදිරියේය. මලානික ගතියක් පෙන්නුම් කල හේ මා දුටුකල අමුතු පණක් ලද්දෙකුමෙන් කඩිසර විය.

"මගේ ගෑස් ටැංකිය උස්සලානේ මල්ලියේ, වැඩි වෙලාවක් නම් වෙන්න බෑ ෂුවර් එකටම අරූ (කබරයා) තමයි, ඔයාල සෙල්ලම් කරද්දී මන් දැක්ක ඕකගේ ඇහැ මේ පැත්තේ තියෙනවා". පොල්ලක් වැනි ආයුදයක් අතැතිව හිටි හේ කියාගෙන ගියේය. මට ඔහු ගැන අනුකම්පාවක් ඇතිවිය.

දෙබස නිමවන්නට මත්තෙන් අයියා යමක් දැක මාහට එය පෙන්වීය. මහර බන්දනාගාරයේ සීමා මායිම් වැටී ඇත්තේ අප ඉඩම් ආසන්නයෙනි, ආරක්ෂාව වෙනුවෙන් හතරකොනේ "ගාර්ඩ්ල" සිටියද උන් නිදිවදිනු ඇතැයි අදද අප විශ්වාසයයි. නමුත් ආරක්ෂාව සඳහා ඇති විදුලි ආලෝකය රාත්‍රිය පුරා ක්‍රියාත්මකය. ඒ තුලින් අප ඉතා අසීරුවෙන් යමක් ඔසවා ගත්තකු ගමන් කරනු දුටහ.

ඒ කවුරුන්ද කුමක්ද යනවග ඒත්තු යන්නට මත්තෙන් අපදෙදෙන ක්‍රියාත්මකවිය. අයිය හා මා මෙන්ම මගේ යක්ෂයාද එකවර එදෙසට දිවීම ආරම්භ කළහ

මගේ යලි නොඑනා නින්ද, එතුලින් පසුදින මාහට වන අපහසුව හිතේ පෙරලිකරන්නට විය.

මගේ ධාවනය අසලකටවත් ඒමට අයියා අපොහොසත්ය. මීටර් 20-25ක් තියා අපගේ ආගමනය අගන්තුකයාට දැනිණි හිසමත වූ ලෝහ කුට්ටිය බිමහෙලි හේ දිවීම ආරම්භ කළහ.

මීටර් 100ක් යන්නට මත්තෙන් කබරයාගේ කරට අතදමාගෙන දිවීමට තරම් මන් ඌට ලංවිය, අධික භියකින් සිටි හේ වේගයෙන් හුස්ම ගන්නා හඬද මාහට ඇසේ.

"ගහපිය මල්ලි ඕකට, ගහපිය" ඈතින් කෑගසන්නේ විස්සේ කෑල්ලේ අයියාය.

මාගේ කෝපය නිවෙමින්ද, කබරයාගේ මිත්‍රාදී ගුනාන්ගද සිහිවිය, අයියාට අහේනියක් නැත ඔහුගේ ගෑස් සිලින්ඩරයද හිමිය.

එබඳු වේගයකින් දුවන අවස්ථාවක පුංචි තල්ලුවකින් කළහැකි දරුණු අනතුරක් පිලිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝදයක් මට තිබිණ (වසර දෙකකට පමණ පෙර වූ සිදුවීමක් නිසා).

මා වේගය අඩාල කළහ, බොරු වේදනාවක් ගන්නට උත්සහ කලද ඇත්ත වශයෙන්ම දෙපතුල් වේදනාය. හේතුව, ක්‍රීඩා කරන්නේද පුහුණුවීම් කරන්නේද තණකොළ සහිත ප්‍රදේශයක හා මහර බන්ධනාගාර ක්‍රීඩා පිටියේ වූ අතර ගල් සහිත භූමියක දිවීම තබා ඇවිදීමද මාහට අපහසුය. මෙතෙක් දුර මා කැඳවා එන්නට ඇත්තේ අර යක්ෂයා වන්නට ඇත.

අයියාගේ නෝක්කාඩු ඉවරයක් නැත, "මන් දැක්කනේ බන් මල්ලි උඹට හොඳටම චාන්ස් තිබුන අරුට දීල අදින්න". මන් මාගේ දුර්වලකම් පවසමින් අයියාගේ හිත හදන්නට හැදුවද ඔහුටද යමක් ඒත්තු යන්නට ඇත.

එයින් පසු අප නිවස ඉදිරිපිට ක්‍රිකට් ගැසුයේ එක් දිනකි. ඒ උසස්පෙළ මාගේ මිත්‍රයන් කිහිප පොලක් අප නිවසට පැමිණි දිනකදීය.

කබරයා සුපුරුදු පරිදි "ඇතුලට ගිහින් එලියට එනවා, ආයේ මොනා හරි කරලා ඇතුලට යනවා". ඉන් එහා ඌ දන්නා දෙයක් නැති.

ගාඩර් එක උඩදී



A /L වලට තෝරගත්තු විෂය මාලාව උනේ වානිජ්‍යය, පවුද්ගලික පන්ති ගියේ බණ්ඩාර දිසානායක, අරුණ රාජමන්ත්‍රී, සිසිර ජයකොඩි ගුරු පියවරුන්ගේ එකතුවක් උන මොන්ටාන (පසුව නැනික්). සතියේ එක දවසකින් (සෙනසුරාදා) විෂය හතරම උදේ 8 - හවස 5 වනවිට අවසන්. පන්තිවල අතිම පේළිවල ඉඳ ගන්න එක ගුරු උදහසට ලක්වෙන නිසා (එකෙක් වැරද්දක් කරලා සර්ලට ඒකව අහු නුනොත් අන්තිම පේලි ගණනාවක් එළියේ/ගෙදර) මැදට වෙන්න තමයි සෙට් එකම ඉඳ ගන්නේ, දවසේ හොඳම හරිය දවල් කෑමෙන් පස්සේ 1-3 ගෙවන එක, පොත උඩ පෑන තියාන, මුණ පහතට හරවා ගත්තම (අපි එහෙමයි සර්ලව රැවැට්ටුවේ, එත් අන්තිමට රිසල්ට් එන්නේ සර්ගේ නෙවෙයි අපේ කියල දැනගත්තත් නිදිමතට ඒ සිතුවිලි පරාදයි) අනෙක් පැත්තේ එකා කකුලට පාරක් දීල අදිනකන් නිදි තමයි.

ගොඩක් වෙලාවට කලේ, ලන්ච් බ්රේක් එකේදී කතා වෙනවා "ෆන්" එකක් ගන්න විදිය අනික් උන් නිදිමතනම් විතරක් සෙට් වෙනවා නැත්නම් තමන්ගේ පාඩුවේ ඉගෙන ගන්නවා. ගොඩක් වෙලාවට කලේ සර්ලට යවන "චීට්" අපි බලනවා ඒවායින් ගන්න පුළුවන් අතල් එකක් තියේනම් ඒක ගන්නවා, චිට් එවපු උන්ට නොතේරෙන්න. තව විදියක් තමයි අපිට සමාන්තරව පේළියක ඉන්න වැඩිපුර වටපිට බලන ගෑල්ලමෙක් දිහා කීප සැරයක් බලනවා සමහරු ඔරවනවා, තව සමහරු හිනා වෙනවා. සමහරවිට එයෑයිලත් ඒ අතල් එකම අපෙන් ගත්ත වෙන්නත් පුළුවන් (මේවයින් හිතට වැදුණු සහ දන්නා කියන උන් මාර්ගෙන් හොයල බලපු අවස්ථාත් තිබුන). "සමනල්ලු" වගේ කොමල පාල විනෝද උන අවස්ථාත්, ඒවා දුරදිග ගියාම ඒක ස්ටේෂමට, ට්‍රෙන් එකට විතරක් නෙවෙයි ගමේ බස් එකටත් ගෙනාපු අවස්ථා තියෙනවා. කලාතුරකින් වෙනස් විදියේ දෙයක් කරනවා ඒ අර කලින් කියපු ලන්ච් බ්රේක් එකේ කතා උන විදියට.

අපිත් එක්ක හිටිය ගමේ ඉස්කෝලෙන් අඋට් වෙලා ගියපු, අපිට වඩා අවුරුදු දෙකක් වැඩි ගමේදී අපි අය්යා කියපු එකෙක්. තුන්වෙනි පාර එක්සැම් කරන්න සෙට් වෙලා මේ වෙනකොට අපි උට කිව්වේ මචං. පොර හිටියේ නිතරම අපිට පිටිපස්සේ පේලියේ. දවසක් ලන්ච් බ්රේක් එකේදී මේක කිව්වා අපේ එකෙක් නිතරම එකම කෙල්ලක් දිහා බලනවා, ඒ කෙල්ලත් මුගේ දිහා බලනවා කියල. ඉතින් ඔන්න එදා දවසේ 1-3 ගෙවන්න වගේම හවස්වරුවේම අතල් ගන්න පුළුවන් ගේමක් සෙට් කලා.

මෙහෙමයි, අය්යා මචංගේ අත් අකුරු ලස්සනයි, අනික අපේ එකා අපේ අත් අකුරු අඳුරනවා. ඉතින් අය්යා මචං චිට් එකක් ලිව්වා, සාමාන්යෙන් චිට් එකක් දෙන එකා කියන්නේ "මේක ඉස්සරහට යවපන්" කියලනේ මේ චිට් එක "මචං උඹට" කියල තමයි අපේ එකාට දුන්නේ, මු ඒක බලනවා අපි දේශනෙට සමවැදිලා. ක්ලාස් ඒක ඉවරුනගමන් අපේ එකා කියපි "මචං අද පහයි කාලෙ (ට්‍රෙන් එක) නොයා පහයි තිස්පහේ යමුද?" අපි ඕකේ එක දුන්න, පස්සේ මු අපිට චිට් එක පෙන්නුවා (අඹ යාළුවොනේ). තිබුන දේවල් දැන්නම් මතක නෑ එත් කෙටියෙන් මෙහෙමයි, "ඔයා නිතරම අවදානෙන් මගේ දිහා බලනවා දැකල තියෙනවා, ආසයි හම්බවෙලා කතා කරන්න, අද හවසට ගාඩර් එක උඩදී (ගාඩර් එක කිව්වේ pedestrian flyover එක) හම්බවෙනවද?"

ඉතින්, ආදර සිතුවිලි අඳුනන ඔයැයිලාටත් හිතා ගන්න පුළුවන්නේ අපේ එකා ඉතුරු පැයදෙක (3-5) කොහොම ඉන්නැතිද කියල. කොහොමින් හරි අපි පහයි තිස්පහේ ගියා එදා, අරුට එන්නම් කියපු කෙල්ලනම් අවේ නෑ. ගාඩර් ඒක ක්‍රොස් කරනවද වෙන කොහෙන් යනවද කියලවත් අපි දන්නෙත් නෑ ඕන් එදාම සිද්දියත් මාට්ටු.