Monday, July 9, 2018

මා විසින් පැහැර හැරීම

ඔබට මිතුරන් දහයක්, එක්‌ සතුරෙක් සිටියහොත් හිතේ වැඩිමනක් හොල්මන් කරනුයේ අර සතුරාය.

ඔබ හොඳ වැඩ දහයක් සිදු කර, එක් අවැඩක් කලොත් හිතට වැඩිමනක් එන්නේ අර එකම එක නරක කාරණාවය.

එබැවින්, පුණ්‍ය කටයුතු වේවා වැඩි ප්‍රමාණයකට දායක වී එක් අවස්ථාවක වුව එයින් යම් සිත්තැවුලක් සිදුවුවහොත් එය හිතට වද දෙනවා නොඅනුමානය.

මේ එබන්දකි,

ආගමට දහමට අපහාසයක් සිදු කිරීම මාගේ බලාපොරොත්තුවක් නොවන අතර, හුදෙක් එක් සිදුවීමක් පමණක්ද, සඳහන් කරන්නාවූ සිදුවීම් හා එබඳු පුද්ගලයින් ඉතාම අල්ප බවත් ආරම්භයේදීම සඳහන් කරනු කැමැත්තෙමි.

මා විදේශ ගතව රැකියාව කරන්නකු යනවග සමුහයේ බොහෝ දෙනෙකු දැනටම දන්නා කාරණයක් වන්නේ, විටින් විට මාගේ සටහන් තුලින් මා ඒ පිළිබඳව දක්වා සිටි බැවිනි. ඒ නැතා මේ සටහන කියවන්නකු ඒ පිළිබඳව මේ මොහොතේ සිට දැනුවත්ය.

විදෙස් ගතව වසර දහයකට ආසන්න කාලයක් ගතවුවද අදටත් මා කුඩා ඉඩමක පමණක් හිමිකරුවෙකි. මාගේ මෙන්ම බිරිඳගේද දෙමාපියන්ගේ වියපැහැදම් මාසිකව ලබාදෙන මා ලංකාවට පැමිණි විට නවතින්නේ ඔවුන් සමග වූ කුලී නිවසකය (දෙපාර්ශවයටම තමන්ගේය යන නිවසක් නොමැති බැවින්).

මාගේ මවු පිය පාර්ශවයන් දීර්ග කාලීනව මෙන්ම දැනටද පදිංචිය "රාගම" ප්‍රදේශයේ වන අතර, කෝට්ටේ මාදිවෙල මුල් පදිංචි කරුවන් වූ බිරිඳගේ දෙමාපියන් වත්මන වනවිට පදිංචිය "කොහිලවත්ත" ප්‍රදේශයේය.

අදාල ප්‍රදේශය ඔවුන් තෝරා ගනු ලැබුයේ, බිරිඳගේ නැගණිය විවාහපත්ව ඒ අවට සිටින බැවින් එය මාපිය දෙපලට ආරක්ෂාවක්, සහනයක් වන නිසාවෙනි.

නිවසටම ආසන්නයේ වූ පන්සලෙහි නම මා මතකයේ නොමැති අතර මතකයේ තිබුනද සඳහන් නොකරමි, නමුත් ප්‍රදේශය දන්නා උදවිය පන්සල හඳුනා ගනු ඇත.

අධික ලැදියාවක් ධර්මය කෙරෙහි ඇති මාගේ නැන්දනිය (බිරිඳගේ මවු) පිලිබඳ වර්ණනාවක් මෙහි නොකරමි, ඇය පුණ්‍ය කටයුතු වෙනුවෙන් මෙම පන්සල තෝරාගැනීම වත්මන වන විට මා මෙන්ම බිරිඳද අසතුට ප්‍රකාශ කොට ඇති මුත්. නිවාස ආසන්නයේ පිහිටීම එය තෝරා ගැනීමට එකම හේතුව වන්නට ඇත.

මාගේ බිරිඳ වසර තුනකට පෙර ගැබිනියක් බවට පත්වුයේ ඕමානයේදී වූ අතර ප්‍රසුතය සඳහා ලංකාවට පැමිණීම මුල සිට සැලසුම් කලේ ඇයගේ අභිමතයට ඉඩදෙනුවස්ය.

ප්‍රසුතියට දින වකවානු ආසන්නවත්ම කාත් කවුරුත් දන්නා පරිදි, "අංගුලිමාල පිරිත" ඇයට ශ්‍රවනය කරවනු වස්, ආරාධනා ලැබුයේ පෙර සඳහන්කළ පන්සලෙහි නායක ස්වාමීන්වහන්සේය.

මේ සඳහා සම්බන්ධ වූ නායක ස්වාමීන්වහන්සේ ඔය අතර තුරේ "අපේ විත්ති" විමසා දැනුවත් වුයෙන්, මා සඳහන් කිරීමට යත්න දරන්නාවූ කාරණය මතුවිය.

"උපාසක අම්ම මහත්තය විදෙස් ගතවෙලා හොඳ රස්සාවකුත් කරන එකේ, අපිට සුළු දායකත්වයක් දෙමුකෝ, අපි පන්සලේ ........ (මතකයේ නැත) කුටි ඉදි කරන්න පටන් අරන් තියෙනවා, එයින් එකක් භාර ගමුකො, මේවා මේ ආත්ම ගණනාවක් යහමින් දේපල ලබන්න කරුණු කාරණා යෙදෙන පුණ්‍ය කර්ම. වැඩි මුදලක් නෙවෙයි එක කුටියක සම්පුර්ණ වියදම ලස්ස පහයි. ඔබ තුමිල මුදලින් දායක උනාම අපි වැඩ කටයුතු කරලා ඔයෑයිල කැමති නමකින් එක නම් කරනව, පුර්ණ අනුග්‍රහය මෙහෙමයි කියල".

අසරණ වූ බිරිඳගේ මුවින් දිගින් දිගටම පිටවුයේ "මහත්තයගෙන් අහල කියන්නම්, හාමුදුරුවනේ" යන වදන් පමණි.

ස්වාමින්වහන්සේගේ උනන්දුව උත්සාහය නතර නොවුණු අතර පන්සලේහිදී නැන්දනිය හමුවුවහොත් "උපාසක අම්ම අර මන් කියපු කාරණාව සලකල බැලුවද". ප්‍රතිපලය ලෙස නැන්දනියගේ පන්සල් ගමන් සීමිත විය.

මේ අතර 2017 වසරේ අපගේ ලංකාගමනය ( වාර්ෂික නිවාඩුව) යෙදී තිබුනේ සැප්තැම්බර් මසය, එවකට අපගේ දියණිය වසර එකහමාරක සිඟිත්තියක් වූ අතර, නිවාඩු මාසය ගෙවන ආකාරය සඳහා සැලැස්මක් බිරිඳ සතු විය.

මාගේ පියාණන් මහලු වයසෙහි පසු වන හෙයින් සිහිකල්පනාවේ අඩු පාඩු තිබේ, මෙය සලකා බලා මවුපිය සතර දෙනට ආශීර්වාද කොට සෙත් පැතීමේ කටයුත්තක් අප සැලසුමෙහි විය.

අපගේ නවාතැන වුයේ බිරිඳගේ මවුපිය පාර්ශවය විසු නිවාස වුයෙන් කරුණු කාරණා සැලසුම් කලේ එහිදීය. ඒ සඳහා නැන්දනිය ආරාධනා කලේ පෙරකී නායක ස්වාමීන් වහන්සේට වූ අතර උක්ත කී කාරණාවට වසර දෙකකට අසන්න බැවින් නායක හිමියන් ඒ අදහස අතැර සිටින්නට ඇතැයි නැන්දනිය සිතන්නට ඇත.

මෙවර ස්වාමීන් වහන්සේගේ ඍජු අවධානය මා වෙතය, සෙත් පිරිත් අවසන්ව ගිලන්පස (තේ) වලඳමින් සිටි උන්වහන්සේ "මහත්තය පොඩ්ඩකට ආවනම්" එසේ ආරම්භ කළහ. මා උන්වහන්සේ එකත්පස්ව දණහිස් බිම තබා ඒ මත හිඳගතිමි.

"මන් කලින් නෝනා මහත්තයටයි, ලොකු උපාසක අම්මටයි මේ ගැන කීව. අපි මෙහෙම වැඩක් කරනව, ........ (පෙර වූ සංවාදය නැවත මුල සිට)

උන්වහන්සේට නිවීහැනේ වදාරන්නට ඉඩ හැරි මා, "අපේ හාමුදුරුවනේ, ඉන්නේ රට, කරන්නේනම් හොඳ රස්සාවක් තමයි, එත් ඔබ වහන්සේට පේනවනේ අපි ඉන්නේ කුලී ගෙදරක." (අපේ ආරාධනයෙන් නිවෙස් හිමිකරුවන්ද මේ සඳහා සහබාගී වී සිටිඅතර, තම පන්සල මග හැර වෙනත් පන්සලකට සම්බන්ධව ඇතැයි නිවෙස් හිමියන්, නායක හිමියන්ගේ උදහසට ලක්විය). "මාගේ අම්ම තාත්තත් ඉන්නේ කුලියට හාමුදුරුවනේ, තාත්ත ඉන්නෙත් අසනීප මට්ටමේ, ඉතින් අපිට විය පැහැදම් ටිකක් වැඩියි, අනික ඒ රටේදී හම්බ කරන සල්ලි වලින් වැඩි කොටසක් ඒ රට වලටම වියදම් වෙනවා" (කුලී නිවාස, ප්‍රවාහන, මාසයක් පුරා කෑම බීම වියදම්, දියණියගේ වියදම්).

නායක හිමියන් අදහස අත් නොහරින ස්වභාවයකි, පෙර කියා තිබු මතු ආත්මවල ලැබෙන්නාවූ වරප්‍රසාධ නැවත මෙනෙහි කල උන්වහන්සේ "හොඳයි අපි මේ ගැන පස්සේ කතා කරමුකෝ". පවසා පන්සට වැඩම කළහ.

පසුදින හීල් දානය අප නිවසෙනි,

වෙලාවට හෝ වෙලාවට කලින් යමක් ආරම්භ කිරීම බිරිඳගේ පාර්ශවයේ පුරුද්දක් වූ අතර (මට මුල් යුගයේ වදයක් වූ මෙහි ප්‍රතිපල ඉහල බැවින් මාද දැන් එය අනුගමනය කරමි). දානයමය කටයුතු කලට වෙලාවට අවසන් විය.

ගමේ පන්සලේ අපට හුරු පුරුදු "පින් අනුමෝදන් කරවීම්" කටයුතු වෙනුවෙන් කුඩා උන්නාන්සේ කෙනෙකුදු සහබාගී නොවීම සුදුවූ අතර, අප බුදුන් වැඳ නිවසට ඒමට පිටත් වුවා පමණි,

දිවැසින් අප දුටු නායක ස්වාමීන් වහන්සේ (පැයක් හමාරක් අප උන්වහන්සේ නොදුටහ) මාහට මෙන්ම නැන්දනියහටද ආවාසගෙය අසලට හඬගා, සුපුරුදු සංවාදය ආරම්භ කළහ.

අප්‍රසන්නම දසුනක් වුයේ ඒ හිමිදිරියේ උන්වහන්සේගේ කිහිල්ලෙහි පොතක් වීම නොව එය උපාසක ඇත්තන් ණයකරුවන් බවට පත්කොටගෙන ඇති "ආධාර පත්‍රයක්" වීමය.

"මහත්තයෝ අර කුටියක් භාර ගන්න එක ඔබතුමා ප්‍රතික්ෂේප කලානෙව, අපි මෙහෙම කරමු. අපේ බුදුගේ අලුත් වැඩියා කරනව. ඒකෙත් බොහොමයක් දේ එක එක්කෙනා භාර අරන් තියෙනවා (අනිවාර්යෙන් භාරදීම් වන්නට ඇත), ප්‍රධාන දොර මෙච්චර ගානක් වෙනවා එකත් අහවල් මහත්තය භාරගත්ත. වහලේ ලී වලට ආධාරයක් කරන්න බලන්නකෝ".

එහිදී උන්වහන්සේ සඳහන් කල ගණන් මිමි මාගේ මතකයේ නැත. ඒ මාගේ අවධානය ඒ කෙරේ නොවීමය.

"මං වයිෆ් එක්ක කතා කරලා කෙරෙන විදියක් අම්ම (නැන්දනිය) හරහා දැනුවත් කරන්නම් හාමුදුරුවනේ". අනුමත කිරීම, එකහෙලා ප්‍රතික්ෂේප කිරීම නුසුදුසු යයි හැගුනු බැවින් මා එහෙ කියා සිටියෙමි.

අතේ මුදල් යහමින් ගැවසේනම්, උදවු කලයුතු විහාරාරාම ගණනාවක් ත්‍රිකුණාමලය, අම්පාර වැනි දුෂ්කර ප්‍රදේශවල පවතියි. එය මාගේ අනාගත බලාපොරොත්තුවලින් එකකි. ජීවිතයේ අනීත්‍යය අපට මෙනෙහි කිරීමට හිඳිනා බුද්ධ පුත්‍රයින් වහන්සේලාගේ නායකකම්, මහානායකකම්, පොදි බැඳ ගැනීම් ආදියට ඇති ආශාව/තෘෂ්ණාව පිළිබඳව ඇත්තේ දුකකි/පිළිකුලකි.

නැන්දනිය අදාල විහාරස්ථානය අත්හැරී අතර, හැකි අයුරින් සිය වතාවත් සඳහා "කැලණිය රජමහ විහාරයට" යාම් ඊම් සිදු කරයි.

ඉහතින් සඳහන් කල සිත්තැවුල (මා විසින් පැහැර හැරීමක් සේ දැකීම) අදද සමනය වී නොමැති අතර, අදහස් බෙදා ගැනීමෙන් යම් සහනයක්ද ලැබෙනු ඇතැයි මා විශ්වාසයයි.





චායාරූපය අන්තර්ජාලය ඇසුරෙනි...

10 comments:

  1. අද ලංකාවේ සාසනේ තත්ත්වය සෝචනීයයි. හතර වටේම පන්සල්. කොහේහරි කපු‍ටු බෝ ගහක් හරි තිබ්බොත්, එතන පන්සලක් අටවනවා. ඉතිං මේවට සල්ලිකොහෙන්ද? හාමුදුරුවරු, නිවන් විකුණන "වෙළඳ නියෝජිතයො" වෙනවා.

    මේ තත්ත්වය ගැන මට නම් පුදුමයක් නෑ, ඉස්සරහට ඔයිටත් වඩා පිරිහෙනවා.එතකොට හාමදුරුවරු දායකයොන්ගෙ ඔලුවලට ධර්මයෙන් දෙකක් පතබාලා පර්ස් එකට විද්දත් පුදුම වෙන්න දෙයකුත් නැත.

    බොනවද දහම් පැන්- නැත්නං පොවන්නද
    මොනවද අඩෝ පන්සිල්- කණ පලන්නද
    වෙනවද නිදුක් -නැත්නං දුක් නිවන්නද
    යනවද නිවන් නැත්නං තෝ යවන්නද

    සාදු සාදු .....සාආආ....

    මා පන්සලකට ගිය කාලයක් මතක නෑ. ඒ ගැන කිසිම පසු තෑවීමක්ද නැත. වෙනත් සමාජයක , සංස්කෘතියක සිට බලන විට ආත්මාර්ථය, ලෞකික සැප-සම්පත් උදෙසා විකෘති කරන ලද බුදු දහමේ කඩතොළු වැඩියෙන් පෙනේ

    ReplyDelete
  2. අම්මට සිරි උපුල් අයිය. මම බන්ටි

    ReplyDelete
  3. මහත්තයො, මෙතන තියෙන්නෙ බරපතළ සංස්කෘතික ප්‍රශ්නයක්. ලංකාවෙ මිනිස්සු කිසිම කෙනෙක් හාමුදුරු කෙනෙකුට මූණට දොස් කියන්නෙ විවේචන කරන්නෙ නෑ. ඒ බව දන්න හාමුදුරුවරුත් අත අරින්නෙ නෑ. මමත් අවුරුදු හතලිස් හයක් ම හාමුදුරුකමේ ඉන්නෙ. කවම දාවත් ඉස්කෝලෙක ගිහින් ත්බුණෙ නැතත්, මේකෙ තියෙන හිත් රිදීම්, ගැටලු දැනුණ මගෙ ලොකු අම්ම (අම්මගෙ ලොකු අක්කා දවසක් කිවුව,"පොඩි හාමුදුරුවො සතුටකින් නැතිබව මට හොඳට දැනෙනව. ඒත්, කිරිඅම්ම ඉන්නකං නං වෙනසක් ගැන හිතන්න එපා. දැන් අනූවත් පැනල, තව එච්චර කාලයක් ඉන්න එකක්යැ," කියල. ටිකක් වෙලා ගැඹුරු නිශ්ශබ්දතාවෙක ඉඳල දිග හුස්මක ඇදල ආයෙත් කිවුව, "මොන දුකහරි විඳගෙන ඒත් ඉතින් මමත් මැරනකල් පොඩිහාමුදුරුවො සිවුරෙ ඉන්නව නම් තමයි මං ආස," කියල. ඔයවගේ අත් දැකීම් තියෙන අපිට මේව ඇහෙනකොට හරි දුකක් හිතෙනව අපි ගැන ම.

    මට තේරෙන්නෙ නැත්තෙ, විවේචන, අවලාද, දොස්කීම, හැර ඇත්ත තත්වය කවුරුවත් අදාල කෙනාගෙ මූනට නොකියන මේ සංස්කෘතිය වෙනස් වෙන්නෙ නැත්තෙ මොක ද කියල.

    මට ලංකාවෙ පැවිදි ජීවිතේ තිත්ත උන තැන මං ඇමරිකාවට ආව. දැන් තනියම ජීවත් වෙනව පුලුවන් කාලයක්. මේ ලඟදි මගෙ හිතවත් මතුගම මහත්තයෙකුගෙ තාත්ත මැරුණ, ලංකාවෙ දි. කඩිමුඩියෙ මහත්තය ගියා මලගෙදර, ඇමරිකාවෙ ඉඳල. වැහි කාලයක්, පන්සලේ බොධිය උදුරන් වැටිල ආවාසෙ වහලෙ කඩාගෙන. පන්සලේ හාමුදුරුවන්ගෙන් දැනගන්ඩ ලැබිල තිබුණ හැටියට ඒ වයසක තාත්ත උදේම ඒක ආරංචිවෙලා පන්සලට ගිහින් තියෙන්නෙ, කාලයක් තිස්සෙ එකතුකරල තිබුණ කාසි කැටයක් කඩල සල්ලි ටික තුවායක පොදි බැඳගෙන. කිවුව හැටියට සෑහෙන මුදලක් තිබිල තියෙනව. එදා රෑ තාත්ත මළා, යාලු මහත්තය ගෙදරට යන්ඩ ඉස්සර මිනිය වල දැම්ම. හත්දවසෙ දානෙ ඉවරවෙලා, පන්සලට යන්ඩ නැගිටපු හාමුදුරුවො යාලු මහත්තයට කියල තියෙනව ආපහු යන්ඩ ඉස්සර පන්සල පැත්තෙ එන්ඩ කියල. එයත් ආනන්දෙ ඉගෙනගත්තු නලින්ද සිල්ව මහත්තය කියන ජාතියෙ සුපිරි ඕල්කට් බෞද්ධයෙක්. ඉතින්, පන්සලට ගියහම හාමුදුරුවො කියල ඔය තාත්තගෙ පරිත්‍යාගය ගැන, "පුතාට කතාකරල තවසල්ලි ටිකක් වැඩිපුර ඉල්ලල දෙන්නම් කිවුව කියලත් කියල. ලංකාවෙ නෙමෙයි මහත්තයො, අනෙක් ථෙරවාද බෞද්ධ කියන රටවලත්, හුඟක් හාමුදුරුවරුන්ට අනුන්ගෙ දුක තෙරෙන්න්නෙ නෑ, නෑමයි. නොහිතූ වෙලාවක අර මිනිහට වෙච්ච කරදරේ, වියපැහැදම් ගැන අංශුමාත්‍ර සංවේදිතාවක් තිබුණ නම් ඕක එදා කියන්නෙ නෑනෙ මහත්තයො.

    මට වෙච්ච තව එකක් කියන්නම්. එතකොට අවුරුදු දාහතක් විතර. පන්සලේ දරමඩුව අස්කරන්ඩ නියෝගයක් ලැබුණ නිවාඩු දවසක, හවස. මෙන්න බොලේ සරපයෙක්. මෛත්‍රියකට ම නොවුණත්, ලඟ තිබුණ පුවක් පටියක් අරගෙන සර්පයගෙ බඩ හරියට තියල විද්ද. ඌ ඈතට විසු උනා. ඒත් එක්කම පුවක් කීරක් දකුණු අල්ලෙ මැනික්කටුවට ඉහලින් වම් පැත්තෙන් ඇතුල් වෙලා මැදටම ගියා. ඉන්ඩ බෑ කකියනව. විජහට කුලී කාරෙකක් අරගෙන ඉස්පිරිතාලෙට ගියා. නිවාඩු දවසෙ, හැන්දෑවෙ, දොස්තර මහත්තය උපන් දා ඉඳල දන්න මනුස්සය. කතාව කිවුවම, වැඩ කරන තව දෙන්නෙකුට කතා කරල අත අල්ල ගන්ඩ කියල දැන් මේක ආපහු අදින්ඩයි හදන්නෙ. මට අතේ වේදනාවත් එක්ක තද උනා. "දොස්තර මහත්තයො මේක රිදෙනව," කියල ටිකක් හයියෙන් කිය උනා. එකපාරට කන්ඩ වගේ මගෙ මූණ දිහා බලපු දොස්තර මහත්තය කිවුව, "ඔවු මං දන්නව තමුසෙලට ටිකක් රිදෙනව වැඩියි," කියල අත අතඇරල යන්ඩ ගියා. ටිකකින් වෙන මහත්තයෙක් ඇවිත් හිරිවට්ටල කටුව අයින් කරල්, පිටගැස්මට බේතුත් විදල, ලොකු මහත්තයව කේන්ති ගැස්සුවෙ මොකට ද කියල විහිලුවකුත් කරල ගියා.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ ගොඩ දෙකට වැරදි අපි අපිම තමා...
      මිනිස්සු කොන්ද කෙළින් තියාගෙන කරන කියන දේ කියන්න ඕනේ...
      එහෙම නැතුව ගියහම තමයි මේ ප්‍රශ්න ඔක්කොම...

      Delete
  4. අපිත් ආව ඕං මේ පැත්තට.

    ReplyDelete
  5. අටම කිව්ව මෙහෙ ඇවිත් යන්ඩය කියල. අපිත් ආව. පරන ටිකකුත් බලලම එන්නම් ඈ.

    ReplyDelete
  6. අපේ පන්සලේ උන්නාන්සෙත් ඔහොම තමා..හැබැයි ඔය තරම්ම නෑ.. පිරිකර ටික උනත් පන්සලෙන්ම සල්ලි දීලා ගන්න කියලා කියනවා කටේ දිවේ නොගෑවී...

    ReplyDelete
  7. පන්සලුත් හරියට අපේ ආදායම් බදු දෙපාර්තමේන්තුව වගේ. පන්සලක් අහක බලන් හදලා දෙන්න පුළුවන් අය ඉඳිද්දී, අහිංසක මිනිසුන් අල්ලාගෙන නහින්න හදනවා. එයාලට ශක්තිය නෑ අර ලොකු උදවියට කථා කරන්න. එක්කෝ පන්සල් වල සංවර්ධන බුද්ධසාසන අමාත්‍යාංශයෙන් කරන්න ඕනේ. මේවා විගණනය වෙන්නෙත් නෑනේ.

    ReplyDelete
  8. මම පෞද්ගලිකව හාමුදුරුවරුන්ට වචනයක්වත් කියන්න කැමති නැ. නමුත් ඔය බලෙන් ආධාර පත්තර වැඩේ , ශාසනයට උචිත නෑ.

    "ආනන්දය සර්පයා දුටුවාද
    එහෙයි අරගෙන මල්ලෙ දාගත්ත" වගේ වැඩක් ඒක

    ReplyDelete