Monday, July 9, 2018

කිරි පුසුඹ ලාවට තියෙන කාලෙ



මාව දහම්පාසල් දැම්මේ අවුරුදු 3න්, පලවෙනි පන්තියේ අවුරුදු 3ක් හිටිය. ඉස්කෝලේ විෂයන්ගෙනුත් ඉහලම ලකුණු බුද්ද ධර්මයට (90+). ගෙදරින් හිතන්න ඇති බෝසත් කුමරුවෙක් කියල ඉතින් මාව පොඩි කාලෙ ඉඳන් පෝයට සිල් ගන්න යැවුවා, තනියට පොඩි අක්කව එවුව. සෙල්ලම ජීවිතේ අංක 1 උනත් මොකක්දෝ ආසාවකට (වෙනසකට මහිතේ) අපි සිල් ගන්න ගියා. අවුරුද්දක් දෙකක් ඇවෑමෙන් එකටම මාත් එක්ක එක පන්තියේ ඉගෙන ගන්න එවුන් දෙන්නෙක් සෙට් උනා එකෙක් ලෝක අන්ඩයෙක් අනික නුල්සුත්තර කාරයෙක්, මං ඔය අතරමැද (ඒ කාලෙ හොඳේ). ඉතින් පෝයක් සෙට් වෙනකොට අවශ්‍ය අඩුම කුඩුම එක්ක අපිත් සන්නද්ධයි.

මෙන්න මේ විදියට; පෝය සතියේ දවසක් නම් (හිතමුකෝ මේ පෝය වගේ බදාද කියල) අඟහරුවාදා හවස ඉස්කෝලේ (පාසැල, දහම්පාසල, පන්සල එකම පින් බිමක් හොඳේ) කාටත් නොපෙනෙන තැනක ප්ලාස්ටික් බෝලයක්. ලෑලි බැට් එකක් නැත්නම් පොල්පිති බැට් එකක් හංගනවා (අපි තුන් දෙනාම හරි එකෙක් හරි). අපේ මේ වෑයම හුදෙක් රජකම පිණිස නෙවී, සිල් අරන් බන/භාවනා ටඉම් එකේ කිරිකට් ගහන්න. රබර්/ටෙනිස් බෝල නැතුව ප්ලාස්ටික් එකක් ගත්තේ ගහන පාරවල් දුර ගියොත්, කරන කලට පව් මිහිරිය මීසේ, විඳින කලට ... වගේ දඬුවම් කරන්නේ හාමුදුරුවෝ හරි වැඩිහිටි උපාසක අම්මෙක්/අප්පෙක් නෙවෙයි, හතර ගාතෙන් පන්සල් ආපු උතුමෙක් හිටිය උන්දැ (මොනවා උනත් පස්සෙන් පහු අපි උන්දැට ආදරේ උනා). මම දිනපතා හවස එන ගෙදරක් තිබුන පාසල් වැට මායිමේ, ඉතින් සති අන්තයක් උනොත් ආවුද සෙට් කරන්නේ මම. පෝයදා "සුව සේවා" ක්ලාස් තිබුන ඉස්කෝලෙම හමුදාවේ අයිය කෙනෙක් කෙල්ලෝ කොල්ලෝ එක් කරගෙන පැය 2ක් විතර (8-10 වගේ) කරනවා ඒ තමයි අපේ ප්‍රධාන හතුරෝ. පන්සල් තාප්පේ එල්ලිලා යනකම් "දැන් පලයවුකෝ, දැන් පලයවුකෝ" කියල බලා හිටිය (මේ කියන කාලෙ අපේ ළඟ සංස්කෘත භාවිතේ නෑ). හවස 3 වගේ වෙද්දී ගමේ උන් (අයියල) එනවා ක්‍රිකට් ගහන්න උන් ලොකු අවුලක් නෑ. මොකද උන්ට කට්ටිය මදිනම් අපිව ගන්නවා විතරක් නෙවෙයි අපිව පන්සලේ අධිකාරියෙනුත් ආරක්ෂා කලා (කවුරු හරි එනකොට අපිව හැංගුව). අපි තව පොඩි උන් ටිකකුත් රවට්ටගෙන සෙල්ලම් කලේ ඔය වෙලාවල් මගහැරලා.

මේ තමයි හොඳම ටික, මේක කියවල කිරිසප්පයන්ට හෙන ඉල්ලන්න, ආඩපාලි කියන්න ලෑස්ති වෙනවා නෙවෙයි ඕන්, විශේෂෙන් උපාසක අම්මල.

කතාවට කලින් පෙර වදනක් විදියට මෙහෙම කියන්නම්, අපේ පන්සලට දාන මාන වල අඩුවක් (අපි දැනුවත්ව) තිබුනේ නෑ, ඉස්කෝලේ, දහම්පාසලේ වැඩක් (අතේ පයේ වැඩ) විතරක් නෙවෙයි අපි ඉස්කෝලේ ක්‍රීඩා වැඩ වලට සහබාගී උනත් පන්සලෙන් කෑම බීම ලැබුන අවස්ථා තිබුන. කොහොම උනත් ඒවායේ ගතියක් තිබුනේ නෑ කාටවත් නොපෙනී අරන් කනවා වගේ. ඉස්කෝලේ දහම් පාසලේ කොල්ලෝ කවුරුත් මේවා කලා. (කෙල්ලන්ටනම් හාමුදුරුවරුම දෙනවා අතට අහුවෙලා තියෙනවා). මෙහෙම එක දවසක් කොල්ලත් රිංගුවා දන්ගෙට. හරිම පහසුයි පිටිපස්සේ දොර සාමාන්යෙන් අගුල් දාන්නේ නෑ. බත්/ඉඳිආප්ප වලට එච්චර කෑදර නෑ පැණිරස තමයි ඕන්, ඉතින් තිබුන කිරිටෝෆි කොල්ල ගත්ත අත්දෙකම පුරෝලා. අපහු එන ගමනේදී පොඩි හාමුදුරුවෝ ඉන්නවා අසරණ ලීලාවෙන් හරියට උන්වහන්සේ හොර වැඩක් කලා වගේ. එහෙම වෙන්න හේතුව අපේ නම්, ගම් වග තුග පන්සලෙන් හොඳට දන්නවා ඉතින්, එහෙව් එකේ හාමුදුරුවෝ අසරණයි. "උපුල්, මට ඕකෙන් කීපයක් දීල ඉතුරුටික අරන් යන්න" කිව්වා. කොල්ල ජීවිතේ ලැජ්ජාවට පත්වුණු අවස්ථාවලින් එකක් ඒක. හාමුදුරුවෝ ගේම ඉල්ලුවානම් "ඇයි කෙල්ලන්ට විතරද දෙන්නේ" වගේ එකක් හරි කියන්න තිබුන. එයින් පස්සේ කොල්ල අහිංසක විදියට පන්සල පැත්තේ කැරකිලා හමුදුරුවරුන්ගෙන් ඉල්ලලම අරගත්තා. ඒ නැතත් කැරකෙනකොට කතා කරලම දෙන තත්වෙකුත් තිබුන. හොරා කන්න පන්සලට යනඋන් ගියේ කිතුලට යන මිනිහ වගේ, වතුර බොන්න පන්සල් ලිඳට යනවා (පට්ට සීතල වතුර), වතුර අදින්න අමාරුයි කියල දන්ගේ ළඟම ටැප් එකට යනවා. මාට්ටු උනොත් කියනවා "වතුර බොන්න ආව, හාමුදුරුවනේ" කියල. නැති උනොත් ගොඩේ ගොඩ.

ඔන්න ඉතින් මං දැන් අනුන්ගේ දෙයක් ඉල්ලලා මිසක හොරෙන් ගන්නේ නෑ, ඉතින් සිල් ගත්තු සෙට් එක ඒ කිව්වේ අපි තුන සිල් සමාදන් වෙන එකයි, සිල් පවාරණය කරන එකයි කලට වෙලාවට කලා (අනෙක්ව කෙසේ වෙතත්). උපාසක අම්මල තාත්තල අපිට හරි ආදරෙයි හේතුව අපි හැමෝටම උපස්ථාන කලා, උයන පිහින ඇන්ටිලටත් දර, දිය ඇදල උදවු කළනිසා දාන, ගිලන්පස සරුවට ලැබුන. ඔයා අතරේ අපේ ලෝක අන්ඩය යෝජනාවක් ගෙනාව, නුල් සුත්තර කාරයා එක අනුමත කලා, මං එක හෙලාම විරුද්ධයි. යෝජනාව උනේ කැවිලි උස්සන්න/කන්න දන්ගෙට රින්ගමු කියල. දිගින් දිගටම මගේ විරොදේ නිසා මට කිව්වා "උඹ මග ඉඳන් ඔත්තු බලපන්" කියල. එකට ඉන්න තුන්දෙනානේ. කරන දෙයක් එකතුවෙලා කරන්න ඕන නිසා මං ගැහෙන හදවතින් එකතු උනා. අපේ පන්සල් වත්ත පුංචි පහේ "නාමල් උයනක්" අරළු, බුළු, නෙල්ලි, වලින් පටන් ගත්තම නොතිබුනේ සීමිත බෙහෙත් පැළෑටි/ගස් ප්‍රමාණයක්. හේතුව නායක හාමුදුරුවෝ "සර්ප විෂ වෙදැදුරෙක්". ප්ලෑන් එක මෙහෙමයි, අපි මුලින්ම පටන් ගන්නෙත් අන්තිමට මෙහෙයුම අවසන් කරන්නෙත් "මොන්ටිසෝරියෙන්" (එකත් පන්සල් වත්තේම තිබුන). අනික් උන් දෙන්න "දිගුදුර මෙහෙයුමට" යද්දී මං උන්ට සපෝට් එක දෙන්න පුළුවන් දුරින් (හු කාලකටත් අඩුයි) කරාබුනැටි, බුළු ගෙඩි අහුලනවා. පොඩි උන් පැත්ත පළාතේ අවොත් බය කරලා පන්නනවා "වතුර බොන්න අය්යේ යන්නේ" කිව්වොත්, "පලයන් අපි වතුර පුරෝලා තියෙන්නේ, අන්ටිලගෙන් ඉල්ලා ගනින්" වගේ එකක් කියල පන්නනවා.

වැඩේ අසාර්ථක උණු අවස්ථාත් තිබුන, කොහොමින් හරි අරුන් දෙන්න මොනවා හරි ගෙනාවොත් සමානව බෙදුවෙනම් නෑ "තෝ ආවද අපි එක්ක, මගනේ හිටියේ" කියල මට දඩ ගැහුවා. පස්සෙන් පහු මොන්ටිසෝරි ටීචර්ගේ පුතාට අපි මාට්ටු උනා. ඌ අපිට වඩා අවුරුදු 2-3ක් බාලයි. උට ගහනවා කියලයි, කෑම කොටසකුයි දීල ශේප් කරගත්ත. අපිනම් හිතන් ඉන්නේ සිද්දිය දන්නෙ අපි තුන හතර විතරයි කියල. එත් ෂුවර් අරු (පොඩි එකා පස්සෙන් පහු) කියල ගමම දන්නවත් ඇති.

No comments:

Post a Comment